Saturday 7th of March 2026

English Tamil
Advertiesment


මේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරපු අසාර්ථකම ලෝක කුසලානයද..?


2026-02-27 14918

 

ශ්‍රී ලංකාව දැනටමත් 2026 පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසි වෙලා අවසන්. ඔවුන් මේ විදිහට සුපිරි 8 දෙනාගේ වටයෙන් ඉවතට විසි වෙන්නේ ඉතාම දරුණු පරාජයන් කිහිපයක්ම ලබා ගැනීමෙන් අනතුරුව.

විශේෂයෙන්ම සිම්බාබ්වේ සමග පැවති තරගය පරාජය වී ඉන් අනතුරුව එංගලන්ත සහ නවසීලන්ත තරග ශ්‍රී ලංකාව පරාජය වුණේ ඉතාම දරුණු සහ අනුමත කළ නොහැකි ආකාරයෙන්.

ඒ සියල්ලම එක්ක 2026 පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය කියන්නේ එදා මෙදා තුර ශ්‍රී ලංකාව ක්‍රීඩා කරපු අසාර්ථකම ලෝක කුසලානයද කියලා හිතෙනවා.

ඒකට ප්‍රධාන සාධකය තමයි සත්කාරක වාසිය. ශ්‍රී ලංකාව මොනම හෝ ආකාරයකින් තමන්ගේ සත්කාරකත්වය හිමි වන අයි සී සී තරගාවලියක මෙහෙම දියාරු විදිහට ක්‍රීඩා කරලා නෑ.

ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන ඉතිහාසය දිහා බැලුවම (එක්දින සහ පන්දුවාර 20 දෙකම) 1975 ඇතුළු මුල් කාලීන ක්‍රිකට් ලෝක කුසලාන කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වල ළදරු අවදිය.

මේ කාලයේ අසාර්ථක වීම් සහ පරාජයන් කියන්නේ බොහොම සාමාන්‍යය දෙයක්. හැබැයි ශ්‍රී ලංකාව උක්ත කාලය තුළත් පෙරළිකාර ජයග්‍රහණයන් ලැබුවා. මේ කාලයේ ක්‍රීඩා කරපු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් එහෙම වෘත්තීය මට්ටමේ අයත් නෙමෙයි. එයාලා වෙනත් රැකියා කරන ගමන් ක්‍රිකට් ක්‍රීඩා කරපු අය.

ශ්‍රී ලංකාවට හා හා පුරා කියලා ලෝක කුසලාන තරගාවලියක සත්කාරකත්වය ලැබෙන්නේ 1996 දී. එවර ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පාකිස්තානය කියන රටවල් තරගාවලියේ සම සත්කාරකයන් විදිහට කටයුතු කළා.

ඒ තත්ත්වය උඩ සත්කාරක වාසියත් එක්ක ක්‍රීඩා කරපු ශ්‍රී ලංකාව නවතින්නේ පළමු වතාවට ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා ගනිමින්. තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ලෝක ශූරයන් වෙයි කියලා විශ්වාස කරපු අය හිටියේ අතලොස්සක් වුණත් ඔවුන් පෙරළිකාර විදිහට ක්‍රිකට් ලෝක ශූරයන් බවට පත් වුණා.

එතනින් පස්සේ 1999 ක්‍රිකට් ලෝක කුසලානය තුළ ශ්‍රී ලංකාව සෑහෙන අසාර්ථක වුණා. ඒක තමයි අපි තාමත් කතා කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩා කරපු අසාර්ථකම ලෝක කුසලානය.

කොහොමහරි 2002 ශූරයන්ගේ කුසලානයේ සත්කාරකත්වයත් ශ්‍රී ලංකාවට හිමි වුණා. එවර ඔවුන් ඉන්දියාවත් එක්ක සම ශූරතාවය දිනා ගන්න සමත් වුණා.

2011 දී නැවත ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය ලෝක කුසලානයේ සත්කාරකත්වය දරද්දී ශ්‍රී ලංකාව අනුශූරයන් බවට පත් වෙනවා.

2012 දී තමයි ශ්‍රී ලංකාව මුල්ම වතාවට තනි රටක් විදිහට ක්‍රිකට් ලෝක කුසලානයකට සත්කාරකත්වය ලබා දෙන්නේ. ඒ 2012 පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට. නැවත වතාවක් ශ්‍රී ලංකාව අනූශූරයන් බවට පත් වුණා.

2012 වෙනකන් ශ්‍රී ලංකාව තමන්ගේ මව්බිම තුළ ක්‍රීඩා කරපු ලෝක කුසලාන හෝ වෙනත් අයි සී සී තරගාවලි වලදී කණ්ඩායම මොන තත්ත්වයක හිටියත් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා. ඒක සත්කාරක වාසිය උපරිමයෙන් අරන් ක්‍රීඩා කරපු අවස්ථා වලට ඉතාම හොඳ උදාහරණ.

තමන්ගේ රටේ හුරුපුරුදු ක්‍රීඩාංගන, තණතීරු, තමන්ගේ රටේ ප්‍රේක්ෂක වාසිය මේ හැමදේම සත්කාරක රටකට ලැබෙනවා. ශ්‍රී ලංකාවටත් ඒ සියල්ල ඒ විදිහටම හොඳින්ම ලැබුණා.

2026 පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය කියන්නෙත් එහෙම එකක්. ඕමානය, අයර්ලන්තය සහ ක්‍රීඩකයන් බහුතරයක් ආබාධ වලට ගොදුරු වෙලා හරිහැටි කණ්ඩායමක් නිර්මාණය කරගන්න අපහසු වෙලා හිටපු ඕස්ට්‍රේලියානුවන් හැරෙන්න අනිත් සියලු රටවල් හමුවේ ශ්‍රී ලංකාව අසාර්ථක වුණා.

ඒ තමන්ගේ මව්බිමේදීම. තමන්ගේ රටේ දහස් ගණනක් ප්‍රේක්ෂකයන් ඉදිරියේම.

ඒක අනුමත කරන්න බැරි තරම් දරුණු පරාජයක් විදිහට කියන්න වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 08 වටයේ ක්‍රීඩා කරපු දියාරු ස්භාවයත් එක්ක. ලකුණු 100 ක් සම්පූර්ණ කරගන්නත් සෑහෙන වෙහෙසක් දරන්න ඔවුන්ට සිද්ධ වුණා.

එතනින් එහාට තව මොන කතාද?

මට අනුව නම් 2026 පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය කියන්නේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරපු අසාර්ථකම ක්‍රිකට් ලෝක කුසලානය. කොටින්ම 1999 ටත් වඩා මේක පහළ තැනකින් තියන්නේ සත්කාරක වාසියත් එක්ක ක්‍රීඩා කරපු දියාරු ස්භාවය නිසාමයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් දැන් මෙතනින් එහාට වැටෙන්න තවත් තැනක් ඉතුරු වෙලා තියෙනවද කියන එකත් ප්‍රශ්නයක්.

 

- ProSports -
Advertiesment